Toilet එකෙනුත් සමාජ රෝග?

ලෝකයේ අපට උහුලාගෙන ඉන්නට සිද්ධ වෙන බර කොතරම් නම් තියෙනවාද? ජීවන බර, පවුල් බර, ආර්ථික බර ඉවරයක් කරන්නට බැරි මේ බර උසුලන්නට අපට කෙතරම් අමාරු වුණත් කරන්නත් ඉතිං දෙයක් නැතිම තැන අමාරුවෙන් හරි මේ දේවල් විඳ දරාගෙන අපට ඉන්නත් වෙනවා.

ඒ කථාව කොහොම වුණත් මේ වගේ බර අතරේ අපට දරාගන්න බැරිම විදිහේ දේවලුත් නැත්තේම නැහැ. කථාවට නම් කියන්නේ ලෝකයේ තියෙන ලොකුම බර මේ බරයි කියල.
ඒ විදිහට දරාගෙන ඉන්න බැරිම තැනනේ මම ඉක්මනට එන්නම් කියලා සමහර අය කාටත් නොකියාම දුවලාම යන්නේදැන් ඉතිං ඒ මොකක්ද කියලා ඔබට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒ තමයි වැසිකිලි යාමට තියෙන වුවමනාව.

අපි කාට කාටත් මේ දේ පාලනය කර ගන්නට තරමක් අමාරු වෙනවා විතතරක් නෙමෙයි. ඒ විදිහට ඉවසාගෙන ඉන්නත් හොඳ නැති බව ඔබ මේ වෙනකොට හොඳින්ම දන්නවත් ඇති. කෙසේ වුණත් අපි මේ කියන්න යන්නේ වෙනස්ම විදිහේ කථාවක්. සමහර වෙලාවට බොහෝදෙනා මේ දේ ගැන අහලා තිබුණට ඇත්තටම එහෙම වෙනවද කියලා අපි කොහොමද දැන ගන්නේ?

කලබලේට හදිස්සියට ළඟ තියෙන මොකක්හරි වැසිකිලියකට ගිහින් අවශ්‍යතාව විතරක් සංසිදුවා ගත්තට ඒවාගේ පොදු වැසිකිලි භාවිතා කරන කොට තරමක් හරි පරිස්සම් වෙනවා නම් ගොඩක්ම හොඳයි කියලා තමයි බොහෝදෙනා කියන්නේ. ඇත්තටම ඇයි ඒ විදිහට පොදු වැසිකිලි පාවිච්චි කරන කොට මෙහෙම කියන්නේ.

මේ ගැටලුවට මූලික හේතුව වෙලා තියෙන්නේ පොදු වැසිකිලිවල විශේෂයෙන්ම පෝච්චි වැසිකිලි (කොමොඩ්) පාවිච්චි කළාම ලිංගාශි‍්‍රත රෝග බෝ වෙනවයි කියන මතයයි. ඒ වුණත් ඒඩ්ස් වැනි භයානක රෝග පොදු වැසිකිලි පාවිච්චි කිරීමෙන් ඇති වන්නේ නැහැ කියලයි. වෛද්‍යමතය වෙලා තියෙන්නේ.

එවැනි රෝගයක් ඇතිවෙලා තිබෙනවා නම් ඒ සඳහා අදාළ තැනැත්තා ලිංගිකව යම් රෝගියෙකු ඇසුරු කර තියෙන්නට ඕන. එසේ වුණත් ඇතැම් වෙලාවට සමහර දිලීර රෝග නම් මෙම ක්‍රමයට බෝ වෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා. ඒ වුණත් ඒ රෝගය බෝ වෙනවාද නැද්ද කියන දේ එම වැසිකිලියේ පිරිසිදු අපිරිසුදු බව මත රඳා පවතිනවා.

උදාහරණයක් ඇසුරෙන් මේ පිළිබඳ පැහැදිලි කරනවා නම් යම් ලිංගික දිලීර රෝගයක් ඇති අයෙක් වැසිකිලි පෝච්චියක් භාවිතා කළ පසු එය නිසි පිරිසුදු කිරීමකින් තොරව තවත් අයෙක් පාවිච්චි කළොත් නිරෝගී තැනැත්තාට ද එය ආසාදනය වීමේ වැඩි ඉඩකඩක් තිබෙනවා. එසේ වුවත් එම වැසිකිලි නිරන්තරව හොඳ පිරිසිදු කමකින් පවත්වා ගෙන යනවා නම් ඒ පිළිබඳ බියක් ඇති කරගත යුතු නැහැ.


ඒ වගේම එම වැසිකිලිවල ජලය පිරුණු භාජන තිබේ නම් ඒවා භාවිතා කිරීමේදී ද තරමක් ප්‍රවේසම් වුණොත් හොඳයි. මොකද කියනවා නම් පෙර පැහැදිලි කළ ආකාරයේ දිලීර රෝගියෙක් එම ජලය භාවිතා කළා නම් එම ජලය වෙනත් අයෙක් නැවත පාවිච්චි කළොත් ඔහුටත් එම රෝගය වැළදෙන්න පුළුවන්. කොහොම වුණත් හදිස්සියට ඕනෑම දෙයක් භාවිතා කරන විට තරමක් කල්පනාකාරි වුණොත් ගැටලු රැසක් විසඳාගන්න එක ඒ තරම්ම ගැටලුවක් වෙන එකක් නම් නැහැ.