දරුවාගේ ලිංගික ප්‍රශ්නය මගහරින්න එපා

ලිංගික අධ්‍යාපනය කියන්නෙ අපේ සමාජයටනම් ඒතරම් හුරුපුරුදු එකක් නෙමේඅපේ රටේ තවමත් නිසියාකාර ලිංගික අධ්‍යාපනයක් දකින්න ලැබෙන්නෙ නෑ. 

කෙසේවෙතත් නව යෞවනයේ පසු වන්නන් ලිංගිකත්වය ගැන දක්වන්නේ කුතුහලයක්. ඔවුන්ගේ නොදැනුවත් කම නිසාම සිදුවන්නේ අති විශාල හානියක්.

පසුගිය කාලයේ සිදුකළ සමීක්ෂණයකට අනුව වයස 15ත් 25ත් අතර දරුවන් අතර ලිංගාශ්‍රිත රෝග වල වර්ධනයක් සිදුව තිබෙනවා. මෙය ඇත්තටම විශාල හානිදායක තත්ත්වයක්. මේ සඳහා දියහැකි හොඳම විසඳුම් වන්නේ නිසියාකාර ලිංගික දැනුමක් තරුණ පිරිස් වෙත ලබා දීමයි.

ඇත්තටම ලිංගික අධ්‍යාපන සම්බන්ධයෙන් පාසලට වගේම දෙමවුපියන්ටත් විශාල වගකීමක් පැවරෙනවා. දරුවෙක් ලිංගිකත්වය ගැන ප්‍රශනයක් ඇහුවත් එක මහා ලොකු වැරද්දක් විදියට දකින පිරිසක් සිටිනවා.

මෙහිදී නිවැරදි ලිංගික දැනුම හරහා සෞඛ්‍ය රැකගත හැකි ආකාරය දරුවන්ට පහදා දීම ඉතා වැදගත්. මේ සඳහා අනුගමනය කළ හැකි පියවරයන් කිහිපයක් පහදා දෙන්නයි අපි මේ සුදානම් වෙන්නෙ

හොඳම මොහොත අවබෝධ කරගන්න

මාධ්‍යන් වල දැන්වීම් වල වගේ නෙමේ නව තරුණ වයසේ ඉන්න දරුවා එක්ක මේ පිළිබඳ කතාව ආරම්භ කරන එක නම් ලේසි වෙන එකක් නෑ. ඒ වගේම ඒ සඳහා වඩා ගැලපෙන අවස්ථාව අවබෝධ කරගැනීමත් වැදගත්. ඔබ හා දරුවා රූපවාහිනිය, චිත්‍රපටියක් නරඹමින් සිටින විට ලිංගික දර්ශනයක් හෝ ලිංගිකත්වයට සම්බන්ධ දෙයක් තිරගත වෙනවනම් ඔබට පුළුවන් මාතෘකාවට පිවිසීමට එය අදාළ කරගන්න. ඒ වගේම දරුවා සමග කිසියම් වැඩක් කරමින් සිටින විට නැතිනම් සාප්පු සවාරියේ දෙනා විට වගේ අවස්ථාවක් වඩා ගැලපෙනවා.

අවංක වන්න 

ඔබට කතා කිරීමේදී අපහසුවක් දැනෙනවානම් එය පැවසීමට පසුබට වෙන්න එපා. ඒ වගේම දිගටම කතාව කරගෙන යාමද සිදු කල යුතුයි. ඒ වගේම දරුවන් අහන ප්‍රශ්නවලට ඔබ නිවැරදි තොරතුරු නොදන්නවානම් පිළිගැනීම හා ඒ ගැන දරුවා සමග සොයා බැලීම සිදු කිරීමත් වැදගත්. කිසි විටෙක බොරු පවසන්න එපා.

ඍජුව අදහස ප්‍රකාශ කරන්න 

ඔබගේ අදහස් ඍජුව ප්‍රකාශ කිරීමද හරිම වැදගත්. ඒවගේම වැරදි ලිංගික ඉරියව් , අනවශ්‍ය ගැබ් ගැනීම්, ලිංගික ක්‍රියාකාරකම් මගින් බෝ විය හැකි රෝග පිළිබඳවත් අදහස් ප්‍රකාශ කිරීම හා පැහැදිලි කර දීම හරිම වැදගත්.

දරුවාගේ අදහස් පිළිබඳවත් අවධානය යොමු කරන්න. 

කිසි විටෙක දරුවට දේශනා පවත්වන්න යාම නොකළ යුතු දෙයක්. ඔහුගේ හෝ ඇයගේ අදහස් විමසා බැලීමත් හරිම වැදගත්. ඒ වගේම ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳ අධෛර්යට පත් කරන කරන්නට සිතා අනවශ්‍ය බිය වැද්දීම් කිරීමද නොකළ යුතු දෙයක්.

හැමවිටම එවැනි විමසීම් සාදරයෙන් පිළිගන්න 

ඔබගේ දරුවට ඔබ සමග ලිංගිකත්වය ගැන කතා කිරීම ගැටළුවක් නොවන බව දැනෙන්න ඇරීම කළ යුතුයි. ඒ වගේම එවැනි විමසීමක් කරන විට ප්‍රසංශ කරන්න අමතක කරන්නත් එපා.

ඒවගේම කතා කිරීමේදී ඔබට කතා කිරීමට අපහසු මාතෘකා ද තිබිය හැකියි. ඒවා කිසිවිටක මගහරින්න එපා.

දරුවන්ට තමන් ලිංගිකත්වය සඳහා සුදානම් බව දැනගන්නේ කෙසේද යන්න පහදා දීමද වැදගත්.
නව යෞවනයේ පසු වන්නන් නිසි වයසට පැමිණීමට පෙර ලිංගික ක්‍රියාකාරකම් වල යෙදී ජිවිත අවධානමේ දමා ගැනීමේ සිද්ධිය ඕන තරම් අහන්න දකින්න ලැබෙනවා.

තනිකම නිසා සමවයසේ පසුවන්නන්ගේ පෙළඹවීම් නිසා බොහෝ විට නිසි වයසට එළඹීමට පෙර ලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙන දරුවන් සිටිනවා. දරුවාට නිසි වයස එළඹෙන තුරු සිටීමේ වැදගත්කම පහදා දිය යුතුයි.

ඒවගේම නිසිවයසට එළඹුණු නමුත් පෙම්වතා, යහළුවෙක්, නන්නාදුනන පුද්ගලයෙක් තමන්ගේ කැමැත්තකින් තොරව ලිංගික ක්‍රියාකාරකම් සඳහා යොදා ගැනීම ලිංගික අතවරයක් සිදු කිරීමක් බව විස්තර කර දිය යුතුයි.

සමහර පිරිස් විශ්වාස කරන්නේ ආදරය ප්‍රකාශ කිරීමට හැකි සුදුසුම ක්‍රමය ලිංගිකව එක් වීම බවයි. නමුත් එය වැරදි බව පහද දිය යුතුයි. ආදරය ප්‍රකාශකිරීමට හැකි තව නොයෙකුත් ක්‍රම උදාහරණ ලෙස සංගීතයට සවන්දීම, සිප ගැනීම, තනිව ඇවිදීම, වැළඳ ගැනීම ගැන අවබෝධයක් ලබා දිය හැකියි.

බොහෝවෙලාවට අහයපත් ලිංගික සබදතා හා අහයපත් ප්‍රේම සබඳතා හේතුවෙන් ජීවිත විනාශ කරගත් දරුවන් පිලිබඳව අහන්න දකින්න ලැබෙනවා. මේ නිසා යහපත් ප්‍රේම සබඳතාවයකට අත්‍යවශ්‍ය යැයි හැගෙන දේවල් සහ අනවශ්‍ය යයි හැගෙන දේ පිළිබඳවත් තරුණ දරුවන් සමග විවෘතව කතා කිරීමද හොද දෙයක්. 

ලිංගික දැනුමක් ලබාදීමට වගේම ලිංගික රෝග වලක්වා ගැනීම සඳහාත් වෛද්‍යවරයෙකුගේ සහය ලබාගැනීමත් ඉතා සුදුසු දෙයක්.