දරුපල නොලබන ලිංගික ගැටළු

ශුක්‍රාණු පිටතට ගෙන එන මාර්ගයේ දුර්වලතා

පිරිමින්ගේ මදසරු බව හෙවත්, කලලයක් තැනීමට අසීරුවන සාධක කවරක් ද යන්න මහනුවර ශික්ෂණ මහ රෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව් අබේකෝන් මහතාගෙන එන තොරතුරු අනුව, නොදැනුවත්කම, ශුක්‍රාණු නිෂ්පාදනය (හැදීමේ) වීමේ ගැටලු, ශුක්‍රානු පිටතට ගෙන එන ගමන් මාර්ගයේ දුර්වලතා,

ශුක්‍රාණු නිසි පරිදි යෝනි මාර්ගයේ තැන්පත් කිරීමේ අපහසුතා, ශුක්‍රාණුවල ගුණාත්මක බවෙහි දුර්වලතා, යන කරුණු මූලික වන බව පෙන්වා දුන්නේය. ඉන්, නොදැනුවත්කම සහ ශුක්‍රාණු නිපදවීමේ දුර්වලතා යනු කවරෙක්දැයි, ඉකුත් සතියේ සවිස්තරාත්මකව කරුණු ගෙන ආවෙමු. තුන්වන කරුණෙහි සිට මෙසේ ගෙන එන්නෙමු.

පුරුෂ ලිංගේන්ද්‍රයේ ලිංගික මාර්ගයේ, හෝ ඒ ආශි‍්‍රතව පද්ධතියේ දුර්වලතා ඇතිවන්නේ ඇහිරීමක්, ආසාදනයක් හෝ වෙනයම් තත්ත්වයක් මතයි. එය,

උපදංශය හෝ වෙනත් විසබීජ තත්ත්වයක් මත ඇතිවිය හැකියි. හර්නියා හෝ වෙනත් තත්ත්වයක් මත සිදු කළ ශල්‍යකර්මයකින් මෙම මාර්ගයේ කුඩා කැපුමක් හෝ තෙරපීමක් ඇති වූ අවස්ථාවක මාර්ගය අවහිර විය හැකියි.

වාසැත්කම හෙවත් Vasetkam කර තිබූ අවස්ථාවක

ශුක්‍රාණු නිසිපිරිදි යෝනි මාර්ගයේ, තැන්පත් කිරීමේ අපහසුතා.

තැන්පත් කිරීමේ නොහැකියාව හෙවත්, අපහසුතාවය ඇතිවීමට බලපාන කරුණු රැසක් තිබේ.
Erectile,Dysfunctions ප්‍රාණවත්වීමේ ගැටලු

ස්නායුවල දුර්වලතාවයක් මත පුරුෂ ලිංගේන්ද්‍රය ප්‍රාණවත් වීම නිසිපරිදි සිදු නොවිය හැකිය. දියවැඩියාව, මානසික ආතතිය හෝ එවැනි රෝග තත්ත්ව මත, ස්නායු දුර්වලතා හේතුවෙන් ද ප්‍රාණවත් වීම දුර්වල විය හැකියි.

තව දුරටත් සලකා බැලීමේදී, තම සහකාරිය පිළිබඳ ඇති අකමැත්ත බල කිරීම හෝ නොපැතූ අයෙකු හා විවාහ වීමට සිදුවීම ද මෙම තත්ත්වය ඇති වීමට හේතු වෙයි.

ක්ෂණික මෝචනය වීම හේතුවෙන් ද ශුක්‍රාණු නිසිලෙස තැන්පත් කිරීමට හැකි නොවනු ඇත. කාන්තාව හා සම්බන්ධ වීමට පෙර හෝ සම්බන්ධව සිටින අවස්ථාවක යෝනි මාර්ගයෙන් පිටතදී මෝචනය වීම සිදුවේ.

සම්බන්ධ වූවද ඇතැමුන්ගේ ශුක්‍රාණු ලිංගයෙන් පිටතට නොපැමිණ, මුත්‍රා මාර්ගයට සම්බන්ධ වී මුත්‍රාශයට ශුක්‍රාණු ගමන් කරන අවස්ථා ඇත. එය, Retrograde Ejaculation ලෙස හඳුන්වයි. මෙහිදී ශුක්‍රාණු පිටවන බව දැනුණ ද, පිටතට පැමිණීමක් සිදු නොවෙයි. පිරිමි මුත්‍රාශය වෙත ගමන් කොට මුත්‍රා මාර්ගය ඔස්සේ, මුත්‍රා සමඟ ශුක්‍රාණු පිටවන අවස්ථා තිබේ.

තවත් ඇතැම් පිරිමින්ගේ ලිංගේන්ද්‍රයේ පිටතට ඇති සිදුර නිසිතැන පිහිටා නොතිබිය හැකියි. Hypospadias ලෙස හඳුන්වන මෙම තත්ත්වයේදී ශුක්‍රාණු පිටතට පැමිණිය ද යෝනි මාර්ගයේ නිසිතැන තැන්පත් කිරීමට අපහසුය. එවන් තත්ත්වය මත, කලලයක් නිර්මාණය නොවනු ඇත.

ශුක්‍රානුවල ගුණාත්මක බවෙහි දුර්වලතා

ගර්භාෂයක කලලයක් නිර්මාණය වීමට පුරුෂයෙකුගේ ශුක්‍රාණුවල ගුණාත්මක බව බෙහෙවින්ම ඉවහල් වෙයි. ශුක්‍රාණු පිට වූවත් ඒවායෙහි ගුණාත්මක භාවය අඩු වී ඇත්නම් එම ශුක්‍රාණුවලින් ඉෂ්ඨ විය යුතු සේවාව යථා පරිදි සිදු නොවනු ඇත.

ශුක්‍රාණු ගුණාත්මක බවින් අඩු වීමට නම්, පරිසර සාධක (විෂ දුම, දුම්පානය, අපද්‍රව්‍යය, ආහාර) වල බලපෑම් ඇති විය හැකියි. වර්තමානයේ අධි රසායනික සංයුතියක ආධාරයෙන් සැකසෙන එළවළු පලතුර හෝ වෙනත් ආහාරවල බලපෑම ද මත, මදසරු වීමේ ප්‍රවණතාවය ඉහළයාම් ඇති බව සෞඛ්‍ය අංශය සොයා ගෙන තිබේ.

එහි ප්‍රධානතම බලපෑම අනාගත පරම්පරාව හින වී යාමය.ස්වසනයෙන් සිරුර අභ්‍යන්තරයට ගෙන යන විෂ මිශ්‍ර වාතය සිරුරේ විවිධ හෝර්මෝනවලට බලපෑමක් ඇති කරයි. එම බලපෑම මත ශුක්‍රාණු නිපදවීම දුර්වල වෙයි.

දුර්වල ශුක්‍රාණු හේතුවෙන් පිරිමි උදවිය මදසරු බාවයට පත්වීම දැකිය හැකියි.